Share on facebook
Facebook
Share on pinterest
Pinterest
Share on twitter
Twitter

ඔබ එකතු වෙලා ඉන්නේ Top Story එකත් එක්ක. අද සුහද කතාබහට එකතු වී සිටින්නේ ලංකාවේ ජේෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය ගැන කතා කරද්දි කියන්න තියෙන දේවල් බොහොමයි. නමුත් විශේෂත්වයක් තියෙනවා ලංකාවේ මියුසික් වීඩියෝ කලාව තුළ ඇය වාර්තාවක් තබා තිබෙනවා වැඩිම වතාවක් මවගේ චරිතය නිරූපණය කළ රංගන ශිල්පිනිය ලෙසට. මාතලේ සිට කොළඹට පැමිණ බොහෝ දුර ගමනක් යන ඇය අද අපේ කතා නායිකාවයි ඇය නමින් පුෂ්පා ජෙනට් මහත්මියයි බොහෝ දෙනා දන්නා ඇය වසර දහයක් පමණ වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ජයගෙන ඇය මේ වන විට විශිෂ්ට රංගන ශිල්පිනියක් වෙලා තියෙනවා අපි ඇය සමග කතා කරමු.

මේ දවස්වල කොහොමද?

 හොඳින් ඉන්නවා.

ඔබ කලාවට පැමිණ කොපමණ කාලයක් වෙනවද?

දැනට අවුරුදු නමයක් දහයක් පමණ වෙනවා.

එතකොට ඔබ තරුණ කාලයේ නෙවෙයිද කලාවට පැමිණියේ?

තරුණ කාලේ මට එන්න බැරි වුණා පොඩි කාලේ සිට ආශාවක් තිබුණා නමුත් අවුරුදු පනස් හතරේදී තමයි කලාවට පැමිණියේ.

එතකොට ඔබ කුඩා කල සිටම කලාවට ආශාවෙන් සිටියේ?

පාසල් වේදිකාවේ රඟ පෑවා. මගේ පාසල මාතලේ බී එම් එස් මෑත කාලයේ සංඝමිත්තා බාලිකාව.

පාසල් යන කාලයේ සිට ලොකු ආශාවක් තිබුණා රංගනයේ නියැලෙන්න නමුත් අඩු වයසින් විවාහ වුණා. විවාහ උනාට පස්සේ මහත්තයා කලාවට එන්න දුන්නේ නෑ. නමුත් දැන් මහත්තයා ජීවතුන් අතර නැහැ. මම කලාවට ආස නිසා කලාවට සම්බන්ධ වුණා.

කලාවට මුලින්ම ආරම්භය ලැබුණේ කොහොමද?

ආශාව ඉතින් හැමදාම හිතේ තිබුණා නැති වුණේ නෑ. මම අඳුරන නිහාල් කියලා අයියා කෙනෙක් හිටියා කීටයා නාට්‍යයේ රංගනයේ යෙදුණු එයාට මං දවසක් කිව්වා මමත් රංගනයට ආසයි කියලා. එයා තමයි මට උදව් කළේ. පසුව එයා තමයි මට උපුල් ගුණවර්ධන මහත්මයාව හඳුන්වා දුන්නේ. පසුව ඔහුගේ (නමත් නැති මිනිසෙක්) නාට්‍යයේ චරිතයක් ලබා දුන්නා. චරිතය රඟපාද්දි පොඩි චකිතයක් දැනුනා නමුත් උපුල් ගුණවර්ධන මහත්මයා රංගනය ගැන කියලා දුන්නා ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නෑ මට.

ඔබ වේදිකාවට සම්බන්ධ වුණේ කොහොමද.

මුලින්ම සෝමසිරි හේවාවිතාරණ මහත්මයාගේ O I C තංගම්මා වේදිකා නාට්‍යයේ කුඩා ළමුන් 12ක ගේ අම්මා විදිහට රඟපාන්න ලැබුණා ඒ තමයි මගේ මුල්ම වේදිකා රංගනය. ඒ චරිතෙට මං අදටත් කැමති ළමයි 12ක් වඩාගෙන තමයි මං වේදිකාවට නගින්නේ ඒ වෙලාවට මිනිස්සු කෑගහනව ඒ චරිතෙට මං හරි කැමැතියි ඊට පස්සේ ජයසේකර අපොන්සු මහතාගේ වේදිකා නාට්‍ය තුනක රංගනයේ යෙදුණා එකක මං ප්‍රධාන චරිතයක් කරා එම නාට්‍යයේ නම (තරුව විකිණේ) ගයාන් මාපලගමගේ සමග එහි රංගනය යෙදුණේ.

ඔබතුමියට වාර්තාවක් තිබෙනවා නේද Music video වල මවගේ චරිතය ලෙස රංගනයෙන් දායක වී එහි ආරම්භය සිදුවුණේ කෙසේද?

ටෙලි නාට්‍යවලට දායක වෙද්දී මට එරන්ද මල්ලිව මුනගැහුනා එයා තමයි මට මුල්ම මියුසික් වීඩියෝ එක ලබා දුන්නේ ලහිරු මුදලිගේ හරි creation එකේ වැඩිම මවගේ චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා දැනට music video 50ක විතර ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මවගේ චරිතයට අමතරව තව මොන වගේ චරිත වලට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ?

මාපිටිගම මහත්මයාගේ සකි සඳ සුවාරිස්, මුතු පලස, මුතු වැස්ස මෑතකදී නීල පබළු, මුතු ලෙන්දොර නාට්‍යයේ වෙනස්ම චරිත වලින් රංගනයේ යෙදුණා news paper චිත්‍රපටයේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. ඊතලය චිත්‍රපටයේ මන්ත්‍රී නෝනා කෙනෙක්ගේ චරිතයක්. හිතුමතේ චිත්‍රපටයෙත් චරිතයක් කර තියෙනවා. වෙළඳ දැන්වීම් mobitel cash bonanza , අවුරා හඳුන්කූරු වෙළඳ දැන්වීම් කර තිබෙනවා.

මෙලෙස ඔබගේ ජනප්රියතාවය අඛණ්ඩව තියාගන්නේ කොහොමද කෙටි කලක් තුල.

 අපොන්සු මහත්මයාගේ වේදිකා නාට්‍ය තුළින් ද ප්‍රතිචාර ලැබුනා එහි මම ලංසි චරිතයක් කළේ එයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාරත් එක්ක හා අනිකුත් නිර්මාණ තුළින් මාගේ ජනප්‍රියතාවය අඛණ්ඩව තබා ගැනීමට හැකිවුණා.

දැනට වේදිකා නාට් කීයකට රංගනයෙන් දායක වෙලා තියෙනවද?

දැනට වේදිකා නාට්‍යය හතරකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ටෙලි නාට්ය, මියුසික් වීඩියෝ, ෆිල්ම් කීයකට පමණ සහභාගි වෙලා තියෙනවද?

ටෙලිනාට්‍ය 15ක පමණ මියුසික් වීඩියෝ 50 කට අධික ප්‍රමාණයක් ෆිල්ම් 5ක් පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

කලා ජීවිතයේ දී ඔබට අමතක නොවන සිදුවීම් වෙලා තියෙනවද?

අමතක නොවන කියන්නේ දවසක් වේදිකා නාට්‍යයකට යද්දි වාහනේ බොහෝ දෙනෙක් නිදි මට සාමාන්‍යයෙන් වාහන වල  යද්දි නින්ද යන්නෙ නෑ. අපි නුවරඑළියෙ කන්දක වංගුවක් ගනිද්දී වංගුව ගන්න අමාරු උනා ඊට පස්සේ හැමෝම ඇහැරවලා වාහනයෙන් බස්සලා රියදුරුට සහයෝගය දුන්නා.

මෑත කාලයේ බිහිවන නිර්මාණ වල ගුණාත්මකභාවය පිළිබඳ ඔබතුමිය දරන මතය?

ඇත්තටම අපේ කාලයේ චිත්‍රපටියක් බැලුවොත් ඒක අමතක වෙන්නෙ නෑ නමුත් දැන් තියෙන මල් සින්දු අරවා මේවා කියලා මිනිස්සු එක එක දේවල් කිව්වට මම ඒ නිර්මාණ වලටත් කැමතියි. අපි වයසයි කියලා ඒ නිර්මාණ රස විඳින්නෙ නැතුව ප්‍රතික්ෂේප කිරීම වැරදියි. සාමාන්‍යයෙන් සදුන් පෙරේරාගේ එහෙම  සින්දු තියෙනවා ඇත්තටම මම ආසයි මල් සින්දු කියලා වර්ග කළාට එක එක පුද්ගලයාගේ රුචිකත්වය අනුව නිර්මාණ බිහිවීමේ වැරැද්දක් දකින්නේ නෑ මම.

ඔබ හැරුනම පවුලේ අනිත් අයත් කලාවට සම්බන්ධයි නේද?

ඔව් මගේ ලොකු දුව music videos සහ නව නව නිර්මාණ අධ්‍යක්ෂකවරියක්, පිටපත් රචිකාවියක් පොඩි දුව ජයවර්ධනපුර Campus එකේ lecture කෙනෙක් ඇය හිතුමතේ පිල්ම් එකේ රංගනයෙන් දායක වුණා මගේ බෑනා (පුතා) ඔහු නිරූපණ ශිල්පියෙක් ඔහු ඉතාමත් ඉහළ තැනක සිටිනවා. ඔහු නමින් රුක්මාල් සේනානායක ඉතින් අපේ පවුල කලා පවුලක්. පොඩි දුව ගොඩක් සම්බන්ධ වෙන්නේ නෑ එයාගේ වැඩකටයුතු සමග අමාරු නිසා.

ඔබගේ දුව රෝෂනි රත්නායක සහ ෂෙහාන් අසේල බණ්ඩාර යන දෙදෙනාගේ නිර්මාණ රාශියකට සම්බන්ධ වුණා නේද ගැන පොඩි විස්තරයක් කරොත්.

ශිහාන් අසේල බණ්ඩාර කියන්නේ හොඳ අධ්‍යක්ෂක කෙනෙක් අපේ පවුලට ගොඩක් හිතවත් ඔහුගේ හිතුමතේ ෆිල්ම් එකේ චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහි තව වැඩකටයුතු නිමා වී නැහැ එහි පිටපත් රචනය මගේ දුව ෂෙහාන් අසේල බණ්ඩාර එක්ක වැඩ කරන්න ලේසියි සමහර අය එක්ක වැඩ කරන්න අමාරුයි නේ නමුත් ඔහු අපට කාරුණිකව කියලා දෙනවා.

ඉදිරියේ දි දැන ගත හැකි නිර්මාණ මොනවාද?

O I C තංගම්මා වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දවස් වල කරගෙන යනවා ෂෙහාන් අසේල බණ්ඩාර ගේ වේදිකා නාට්‍යයකට ආරාධනා කර තිබෙනවා මියුසික් වීඩියෝ කිහිපයකට සහ වෙළඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

අවසාන වශයෙන් මෙම ක්ෂේත්රයේ ගොඩක් අය ඉක්මනින් ඇවිත් සාර්ථකව රැඳි නොසිටින්නේ ඇයි අයට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද?

තමන්ගෙ වැඩේ කරගෙන අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩේ කරගෙන ඉදිරියට යා යුතුයි. මේ ක්ෂේත්‍රය නරකයි කියලා ගොඩක් අය කියනවානේ මේ ක්ෂේත්‍රය විතරක් නෙමේ හැම ක්ෂේත්‍රයක්ම ඒ වගේ නේ. නමුත් තමන් හොඳින් ඉන්නව නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ක්ෂේත්‍රයට ඕනි කෙනෙක්ට එන්න පුලුවන් නමුත් රැඳී සිටින්නයි අපහසු අපි කරදරයක් නැතුව ගිහින් තමන්ගේ වැඩේ පාඩුවේ කරලා එනවා නම් සුහදව සැමට හොඳින් කතා කරල ඉන්නවනම් රැඳෙන්න පුළුවන්.

කතා කලේ –  දිනිදු එකනායක

සටහන – සෙහාන් අසේල බණ්ඩාර

Mekup – දිල්කී දිසානායක

නැංගුරම D

Viewers: 3157

Some Random Albums

Contact Us

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Not readable? Change text. captcha txt

Start typing and press Enter to search

Dilhani Weerasinghe